විවාහ මංගල උත්සව සමය දැන් ආරම්භ වෙලා. හැමෝම කැමතියි තමන්ගේ මංගල දිනය ඉතාම ලස්සන එකක් කරගන්න. ඒත් නිසි සැලසුමක් නැතිකමින් හුඟක් වෙලාවට මංගල දිනය තමන් හිතන අයුරින්ම සාර්ථක කරගන්න බැරි වෙනවා. ඉතින් අපි හිතුවා මංගල දිනයට සූදානම් වෙන තරුණ තරුණියන්ට තමන්ගේ ඒ දිනය ලස්සන කරගන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් දෙන්න. මෙන්න මේ දේවල්වලට අවධානය යොමු කලොත් ඔබට සාර්ථක මංගල උත්සවයක් පවත්වන එක හීනයක් වෙන්නෙ නෑ. මේ දේවල් වෙඩින් එකට මාස 6කටවත් කලින් ඉඳන් සූදානම් කරලා තියාගන්න එක ඔබට ලොකු පහසුවක් වේවි. අන්තිම මොහොතෙත් වැඩ තියාගත්තොත් ඔබ වෙඩින් එක දවසට හෙම්බත් වෙලා ඉඳීවි. ෆොටෝස්වලත් ඒ බව හොඳින් පෙනේවි.

1. පොතක් ගන්න, App එකක් බලන්න

වෙඩින් එකක් ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. අපිට මතක තියෙයි කියල හිතන හුඟක් දේවල් අමතක වෙන්න පුළුවන්. ඒ නිසාම පොතක් අරන් චෙක් ලිස්ට් එකක් හදාගන්න. මුල ඉඳන් අවශ්‍ය වෙන හැමදේම පිළිවෙලට පොතක ලියාගන්න. ඒ දේවල් සූදානම් කලාට පසු කපා හරින්න. අවශ්‍ය දෙවල් වලට පොඩි නෝට් එකක් ගහගන්න. මේ කාලෙ මේ වගේ ලිස්ට් වැඩ smart විදියට කරන්න smartphone apps ගොඩයි. Remember the Milk, Any.Do සමඟ අපි ඉහලින්ම සලකන Wunderlist වගේ Apps පාවිච්චි කරලා බලන්න. ලිස්ට් හදල, අවශ්‍ය කට්ටිය එක්ක ශෙයා කරගන්නත්, reminders සෙට් කරන්නත්, කොම්පියුට එකටයි, වෙබ් එකටයි ඉබේම අප්ඩේට් වෙන නිසා ඕනෑම තැනකින් ඕනෑම වෙලාවක බලල හසුරුවන්නත් පුළුවන්.

2. බජට් එක

ඔබ කොපමණ මුදලක් වෙඩින් එක වෙනුවෙන් වියඳම් කරන්න සූදානම්ද කියන එක මත තමයි අනිත් සියල්ල තීරණය කරන්න ඕනෙ. ඔබේ ඇඳුම පැලඳුමේ සිට වෙඩින් එක ගන්න තැන දක්වා හැමදෙයක්ම මේ මත තීරණය වන නිසා මේ මුදල කලින්ම වෙන් කරලා තියාගන්න එක සුදුසුයි. හැබැයි වෙඩින් එකට ලෝකෙටම ණය වෙලා දරුවනුත් ලොකු වෙනකම් ණය ගෙවන්න වෙන තත්ත්වෙට වෙඩින් කරන්න එපා කියල අපේ හිතවතුන්ට අපි ආදරෙන් මතක් කරනව.

3. අමුත්තන් ප්‍රමාණය

ඔබ ගන්න හෝල් එකේ ප්‍රමාණය තීරණය කරන්න නම් ඔබ මුලින්ම වෙඩින් එකට එන අමුත්තන් සංඛ්‍යාව ගණන් බලන්න ඕනෙ. මෙතනදි නම් දෙමව්පියන්ගේ උදව් කොහොමත් ඕන වෙනවා. කියන්න ඕන ඕන නැති නෑදෑයන් හිතවතුන් ගැන පැහැදිලි අවබෝධයකට ඇවිත් අමුත්තන්ගේ ලිස්ට් එක හදාගන්න. සාමාන්යෙන් මාසෙකට කලින්වත් ආරාධනා කරන එක තමා අපේ සිරිත. ඒ නිසා “අන්තිම මොහොතෙයි අපිට නම් කිව්වේ” කියන දොස අහන්න අවස්ථාවක් නැති වෙන්න කලින්ම ලිස්ට් එක හදන එක වැදගත්!

4. තීම් එකක්

තීම් එකකට එහෙමත් නැත්නම් තේමාවකට වෙඩින් එක කරන එක දැන් අළුත්ම විලාසිතාව. ඔබේ ඇඳුම් පැලඳුම් තීරණය කරන්න කලින් ඔබට මේ තීම් එක තෝරගන්න වෙනවා. ඔබේ ඇඳුම් වල වර්ණය, හෝල් එකේ ඩෙකරේශන්ස් වගේ ගොඩක් දේවල් වලට මේක වැදගත්. තීම් එකක් තෝරගත්තට පස්සෙ ඔබට ආරාධනා පත්‍රය සූදානම් කරගන්න වෙනවා. ඔබේ තීම් එකට අනුව ආරාධනා පත සහ වෙඩින් කේක් බොක්ස් එක එකම තැනකින් කරගන්න එක පහසුවක් වෙයි.

5. ස්ථානය

එන අමුත්තන් ගාන තීරණය කලාට පස්සෙ මුලින්ම කරන්න තියෙන්නෙ ඔබේ බජට් එකට ගැලපෙන තැනක් තෝර ගන්න එක. වෙඩින් එක ගෙදරම ගන්නවනම් ඒ සඳහා ඕන කරන ටෙන්ට් සහ අනෙක් උත්සව භාණ්ඩ සඳහා කලින්ම ඇණවුම් කර තියන්න. අන්තිම මොහොතෙ කරන්න හිටියොත් ඔබට ලැබෙන්නෙ තේරිච්ච බඩු. උදාහරණයක් කිව්වොත් සෙටි බැක්ස්, පෝරු වගේ දේවල් ඔබට උවමනා කොලිටියෙන්ම හෝ මෝස්තරයෙන්ම නොලැබෙන්න තියෙන ඉඩ වැඩියි.

6. ඡායාරූප ශිල්පීන් සහ රූපලාවන්‍ය ශිල්පීන්

ඔබේ වෙඩින් එකේ තීම් එක තෝරගෙන ඉන්න එක මෙයාලව මුණගැහෙන්න කලින් කරන එක වැදගත්. ඔබේ තීම් එක කලින්ම දැනගෙන ඉන්න එක මේ අයට පහසුවක්. ඔබේ බජට් එකට අනුව මේ අයව තෝරගන්න ඔබට BMICH, Kandy City Centre වගේ තැන්වල වසරකට වරක් පැවැත්වෙන Wedding Show එකකට යන්න. කීප දෙනෙක්ව එක විට සංසන්දනය කරල බලලා තෝරගන්න අවස්ථාවක් ඔබට එයින් ලැබෙනවා.

7. ඉවෙන්ට් එක ප්ලෑන් කරන්න

ඔබේ මංගල උත්සවය විශේෂ එකක් කරගන්න ඔබ කොහොමත් කැමතියි. මේ නිසා ඉවෙන්ට් ප්ලෑන් එකක් එහෙමත් නැත්නම් උත්සව සැලැස්මක් තියෙන එක වටිනවා. අර මුලින් ගත්තු පොතේ ඔබ හෝල් එකට එන්න කලින් යන ෆොටෝ ශූට් එක, එයට ගත කරන කාලයේ සිට හෝල් එකට පැමිණි පසු පෝරුව චාරිත්‍ර, පහන් දැල්වීම, ශැම්පේන් ෆවුන්ටන් වැනි සියළුම අංග වලට කාලයක් සහ ඒ දේවල් සිද්ධ වෙන පිළිවෙල සටහන් කරගන්න. ඔබේ ලඟ හිතවතුන් හෝ වගකීමක් බාර ගත හැකි නෑදෑයන් දෙතුන් දෙනකුට මේ ඉවෙන්ට් ප්ලෑන් එකෙ කොපියක් ලබා දෙන්න. ඒ දේවල් ඒ වෙලාවට වෙනවාදැයි විමසිලිමත් වන්න පවසන්න. පටලැවිල්ලකින් තොරව වෙඩින් එක ලස්සනට නිමා කරගන්න මේ දේ ඉතාම වැදගත්.

8. ආහාර පාන

කොච්චර හොඳට මොන දේ කලත් අන්තිමට නෑදෑයන්ගෙන් කතා අහන්න වෙන්නෙ මෙන්න මේ දේවලට. කලින්ම කේටරින් සර්විස් එකක් හෝ ඔබ වෙඩින් එක ගන්නා හෝටලය සමඟ මේ ගැන කතා බහ කර තබන්න. මත්පැන් සංග්‍රහ කරනවානම් එය කුමන ආකාරයට කලොත් වඩා සුදුසුද යන්න ඒ පිළිබඳ දැනුවත් අයෙකු හා කතා කරන්න. කෑමට සහ බීමට පිරිසට ආරාධනා කිරීමට සහ එහි අඩු පාඩු සොයා බලන්න හිතවතෙකුට බාර දෙන්න.

9. ඔබේ පෙනුම

මොන තරම් දේවල් කලත් අන්තිමට ඔබට ඉතුරු වෙන්නෙ මේ ලස්සන දවසේ සුන්දර මතකයන් විතරයි. ඒ නිසා ඔබ දෙපල එදාට ලස්සනට ඉන්න එක අනිවාර්යයි. රූපලාවන්‍ය ශිල්පියා සමඟ අඩුම තරමින් මාස 3කට පෙරවත් කතාබහ කරන්න. මනමාලයාට සුදුසු කොණ්ඩ විලාසිතාව වගේ දේවල් සහ විශේෂයෙන් මනාලියගේ රූපලාවන්‍ය අවශ්‍යතා ගැන දැනුවත් වීම වැදගත්. මෙය ඔබේ දෙවෙනි මනමාල සහ මනමාලියන් සම්බන්ධයෙනුත් බලපානව.