පරිගණක යන්ත්‍ර භාවිතාකරන්නන් හිතා මතා නොවුණත්, ඉතා විශාල වශයෙන් විදුලිබලය නාස්ති කරන බව මහා බ්‍රිතාන්‍යයේ බලශක්ති සංරක්ෂණ ආයතනයක් වෙන එනර්ජි සේවිං ට්‍රස්ට් (energysavingtrust.org.uk) ආයතනය පසුගියදා පල කල වාර්තාවකින් පෙන්වා දුන්නාය. එසේ වෙන්නේ පරිගණක යන්ත්‍ර ඇතුළු වෙනත් ගෘහස්ථ විදුලි උපාංග ක්‍රියාත්මක නොවෙන විටත් එයට විදුලි බලය ලබාදී සුදානම් නම් කොට තැබීමේ (standby mode) ක්‍රමය නිසාය.

සාමාන්‍යයෙන් ගත් විට පරිගණක යන්ත්‍රයට සම්බන්ධ කොට තිබෙන යුඑස්බී ෆ්ලෑෂ් ඩ්‍රයිව් වැනි එක්ස්ටනල් ඩ්‍රයිව් පාවිච්චි නොකළත් යම් බලශක්ති ප්‍රමාණයක් උරා ගනියි. ප්‍රින්ටර්, ස්කැනර් වැනි උපාංග පරිගණකයට සම්බන්ධ කළ විටත් නාස්තිය මෙසේමය. සුදානම් කොට තැබීම හෙවත් ස්ටෑන්ඩ් බයි මෝඩ් එකෙන් පරිගණක උපාංගයක් තබා ඇති විට වොට් 10ත් 15ත් අතර විදුලි ක්ෂමතාවක් වැය වෙයි. එනම් පරිගණකයක් එහි අවශේෂ උපාංග (peripherals) සමග ස්ටෑන්ඩ්බයි ක්‍රමයට තැබුවාය කියන්නේ වොට් 60ක බල්බයක් දල්වා තැබුවාක් වැනි වැඩකි.

ස්ටෑන්ඩ්බයි මෝඩ් එකෙන් පරිගණක උපාංග තබා ගැනීම නිසා ලොව පුරා සෑම තැනකදීම නාස්ති වෙන විදුලිය ගැන දැන් තක්සේරුවක් තිබේ. එයට අනුව පරිගණක යන්ත්‍රයක් වසරක් පුරා ටැබ්බයි මෝඩ් එකෙන් තැබු වොත් එවිට වැයවෙන විදුලිය නිපදවන්නට ඉන්ධන ලීටර් 25ක් ඔනෑ කෙරේ. දැන් තක්සේරු කර ඇති විදියට අද ලොව ඇති පරිගණක ගණන මිලියන 120ක් පමණ වෙයි. ඒ අනුව නාස්තිය සුලුපටු නැත. බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක
චෙන එනර්ජි සේවිං ට්‍රස්ට් ආයතනය, බ්‍රිතාන්‍ය වැසියන් පරිගණක සහ උපාංග ස්ටෑන්ඩ්බයි මොඩි එකෙන් තැබීම නිසා අපතේ යන විදුලි ප්‍රමාණය ගණන් බලා තිබේ. ඒ අනුව සෑම අවුරුද්දකම බ්‍රිතාන්‍යයේ අපතේ යවන විදුලි ප්‍රමාණය විදුලි බලාගාර දෙකක් නිපදවන බලශක්තියට සමානය. වැඩියෙන්ම විදුලිය වැය වෙන්නේ වයර්ලස් රවුටරයක් ස්ටෑඩ්බයි මෝඩ් එකෙන් තැබීම නිසාය. ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය වැසියෙක් ගෙවිය යුතු විදුලි බිල පවුම් 22කි. එනම් කිට්ටු වශයෙන් රුපියල් 5000කි.

ඒ ගණන් බැලීමට අනුව ලේසර් ප්‍රින්ටරයකට වැඩිපුර ගෙවිය යුතු විදුලි බිල රුපියල් 4000කි. අයිපෑඩ් චාජරයකට රුපියල් 2500 කි. මොඩෙමයකට රුපියල් 1500කි.

ඉක්ජෙට් ප්‍රින්ටරයකට රුපියල් 1000 කි. බ්‍රිතාන්‍යයේ විදුලි මිල අපේ රට වඩා අඩුය. එනම් අපේ රටේ දී නම් මේ මුදල මීටත් වැඩිය.
ස්ටෑන්ඩ්බයි මෝඩි එකෙන් තබා තිබෙන පරිගණක උපාංග ගැන හරිහමන් තොරතුරු රැස් කර ගැනීම ඉතා අපහසු බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA – The International Energy Agency) අදහසයි. විදුලි උපකරණ ස්ටෑන්ඩ්බයි මෝඩ් එකෙන් තබා ඇතිවිට හානි වෙන බලශක්තිය අඩු කිරීමට උපක්‍රම යෙදීම මෙසේ ගණන් බල බලා ඉන්න වාට වඩා හොඳය. ඒ තේරුමින් වන් වොට් ප්ලෑන් (One Wat Initiative) යන නමින් යුත් වැඩ සටහනක් ඉදිරිපත් කළේය.
එය, පරිගණක යන්ත්‍ර සහ ඊට සම්බන්ධ වෙනත් උපාංග ස්ටෑන්ඩ්බයි මෝඩ් එකෙන් තබා ඇති විට අපතේ යන විදුලිය අඩු කිරිමට නිෂ්පාදකයින්ට බල කිරිමේ වෑයමකි. මෙම බල කිරිම, ස්ටෑන්ඩ්මබයි මෝඩ් එකේදී වැය වෙන විදුලිය වොට් 10ත් 15ත් අතර
නොව, වොට් එකකට වඩා අඩුව තැබීමට අවශ්‍ය තාක්ෂණික උපක්‍රම යෙදීමටය. එය ආරම්භක ඉලක්කයයි. එහි අවසන් අරමුණ ස්ටෑන්ඩ්බයි මෝඩ් එකේදී වැය වෙන විදුලිය වොට් 0.5 දක්වා අඩු කිරිමය. මෙය දැන් යුරෝපා කවුන්සිලය නීතියක් ලෙස ක්‍රියාත්මක කරයි. දකුණු කොරියාව, චීනය, ඔස්ට්‍රේලියාව මෙන්ම ජපානය මේ ප්‍රමිතියට අනුව පරිගණක සහ වෙනත් ඉලෙක්ට්‍රොනික් උපකරණ නිෂ්පාදනය කිරිමට වැඩ කරමින් සිටියි. මුලික වශයෙන් ඔවුන් කරන්නේ ටෑන්ඩ්බයි මෝඩ් එක නිසා අපතේ යන විදුලිය වොට් 02 ක මායිමටවත් අඩු කිරීමය.