එම වෛද්‍යවරයාව සැත්කමකින් එළියට ගත්ත සැඟවුනු නීතිවේදියා
—————————————————————

ජීවිතය සාමාන්‍ය විදියට ගලායනවිට ඊට අනුගතවීම තමයි බොහෝදෙනකු කරන්නේ. නමුත් සමහරු හිතට හයියක් අරගෙන ඒ සාමාන්‍ය ක්‍රමයෙන් පිට පනිනවා. ඒවගේම ඊටපස්සෙ සෑහෙන කට්ටක් කනවා අලුත් ක්‍රමයක් හදාගැනීම සඳහා.

මේ පහත දැක්වෙන කතාව මට කිව්වෙ අලුත්කඩේ උසාවියෙ නීතිඥවරයෙක් විදියට වැඩකරන මාගේ මිත්‍රයෙකු වන සුමිත්‍ර වෛද්‍යසේකර මහත්තයා.

( දැන් අපි මේ කතාවෙ පළමුවැනි කොටසට යමු. )

මම නීතිඥවරයෙක් වෙන්න ඉස්සර බේරුවල පැත්තෙ සංචාරක හෝටලයක රැකියාවක් කළා .

ඒ කාලෙ අපේ හෝටලයට වේටර්වරුන් වශයෙන් ලාබාල තරුණයො කණ්ඩායමක් බඳවා ගත්තා. කණ්ඩායමේ 30 ක් විතර හිටිය. උන් ඉස්කෝලෙන් out වෙච්ච හැටියෙම වගේ තරුණ කොල්ලො. ඒ කට්ටිය ඇවිල්ල තිබුණෙ ජාතික ආධුනිකත්ව මංඩලය හරහා.

මේ කට්ටිය පුහුණු කිරීම භාරවුනේ රෙස්ටුරන්ට් මැනේජර්ට . මැනේජර් මෙි කට්ටියව උදේට වැල්ලට අරගෙන යනවා. බන්දේසි උඩ වතුර බෝතල් , ගඩොල් එහෙම තියල බැලන්ස් එකෙන් බන්දේසි අරන් යන හැටි පුහුණු කරවනවා.

වතුර බෝතලයක් හරි ගඩොල් කැටයක් හරි බන්දේසියෙන් පිටට වැටුනොත් සැර පරුෂ විදියට බණිනවා. දවසක් දෙකක් මම මේක බලන් හිටිය.

මම මැනේජරයගෙන් ඇහුව ඇයි මේ ළමයින්ට මේ විදියට බණින්නෙ ? කියල.

එහෙම නැතුව මුන් හදන්න බැහැ. මැනේජරය කිව්ව. මුගේ අම්මගෙ ට්‍රේනින් එක. මට හරි කේන්තියි මැනේජරයත් එක්ක.

මම කාර්යාලයට ගිහිල්ල අර ළමයින්ගෙ personal files බැලුව . ළමයි ඔක්කොම වගේ උසස් පෙළ සමත් අය. විද්‍යා අංශයෙන් ඉහළින් උසස් පෙළ සමත් අයත් හිටිය .

මැනේජරය ගැන මම අහල තිබුණ ඌ පහ පාස් එකෙක් . උගෙ personal file එකත් බැලුව. ඒකත් ඇත්ත බව දැනගත්ත. ඒක තමයි ඌ මේ ළමයි එක්ක මෙච්චර තරහ ගන්නෙ.

ඊටපස්සෙ සුදුසු වෙලාවක් බලල මම මේ ළමයින් ටික දෙනෙක් හමුවුනා. මම ඒ ළමයින්ගෙන් ඇහුව .

මල්ලිල උසස් පෙළ හොඳට පාස් නේද ?
උන්ගෙ අැස් දිලිසුනා. ඔව් සර්. උන් ආඩම්බරයෙන් කිවිව.

මම උන්ගෙන් ඇහුවා .

තොපි දන්නවද අර තොපිට බණින අර රෙස්ටුරන්ට් මැනේජරයා පහ පාස් එකෙක් බව. ඔය promotion ගහල හිටියට ඌ මෙතන අතුගාන්න ආපු එකෙක්. මොන මඟුලක්ද තොපි මෙතන කරන්නෙ. ආපහු ගෙදර ගිහිල්ල මොන කට්ටක් කාල හරි A.L. කරල campus පළයවු. එක එක පාහර බල්ලන්ගෙන්, ……… බලු බැණුම් අහන්නෙ නැතුව.

මමත් මැනේජරය බණින විදියට උන්ට බැන්නා. මම ඒ ළමයින්ට කියල දුන්න A. L. විභාගයෙ වැදගත්කම . ඒක ජීවිතයෙ වැදගත්ම turning point එකක් . හැරවුම් ලක්ෂයක්. ඒක ලේසියෙන් අතහරින්න එපා. මම ළමයින්ට කිව්වා.

මට පුලු පුලුවන් වෙලාවට මම අනික් ළමයින්ටත් මේ කතාව කිවිවා. කිව්ව නොවෙයි උන්ට බැන්නා.

පළයවු . ගිහිල්ල මහන්සිවෙලා පාඩම් කරල campus පළයවු. නැත්නම් තමන්ගෙ සුසුදුකම්වලට ගැළපෙන රස්සාවක් හොයාගනියවු. එ්කත් බැරිනම් මැනේජරයගෙ හොම්බට ඇණපියව්. තොපි ට්‍රේනින් ආව කියල තොපිලට බල්ලන්ට වගේ බණින්න ඌට අයිතියක් නැහැ.

මේ ළමයින්ව කවුරුවත් ගනන්ගත්තෙ නැහැ. House keeping manager , Front office manager විතරක් නොවෙයි පරණ වේටර්ල වුනත් මේ ළමයින් ගැන තැකීමක් කළේ නැහැ.

හැබැයි මේ ළමයි මට බොහොම හිතවත්කමක් දැක්වූවා. මමත් ඒ ළමයින්ට හිතවත්කමක් දැක්වුවා. පොඩ්ඩක් ලකුණු එහෙමෙහෙ වෙච්ච නිසා campus යන බැරිවෙච්ච බුද්ධිමත් ළමයි.

මේ ළමයින්ගෙ බුද්ධිමත්කමෙන් මීට වඩා රටට වැඩක් ගන්න මේ රටේ පාලකයන්ට සැලැස්මක් නැහැ. එහෙම සැලසුම් හදන්න බුද්ධියකුත් නැහැ. ඒ වගේම ඕන කමකුත් නැහැ.

මම හිතන්නෙ, මම නිසා ළමයි බොහොමයක් waiter පුහුණුව දාල ගියා කියල.

( දැන් මේ කතාවෙ දෙවෙනි කොටසට යමු. මේක සිද්ධවුනේ ඊට අවුරුදු ගණනකට පස්සෙ )

මමත් හෝටලයෙන් අස්වෙලා නීති විද්‍යාලයට ගිහිල්ල නීතිඥවරයෙක් වුනා. ඒ දවස්වල මම අලුත්කඩේ උසාවියට ආවෙ ගියේ අම්බලන්ගොඩ මහගෙදර ඉඳලා. කෝච්චියේ.

දවසක් කෝච්චියෙන් යද්දි මහත්තයෙක් මගේ ළඟට ආව. මා දිහා හොඳට බැලුවා.

සර්ට මාව අඳුරගන්න පුලුවන්ද ?

හොඳ ප්‍රසන්න හා වැදගත් පෙනුමක් තියෙන, පිළිවෙලකට ඇඳුම් ඇඳපු මහත්තයෙක්.

” දැකල නම් පුරුද්දක් තියෙනවා ” මම කිව්වා.

සර් මම අර බේරුවල …….. tourist hotel එකේ වැඩ කළා.

හරි මතකයි. training එකකදි මාව හමුවුනා නේද . ( යාබද ආසනවල ඉන්න මඟීන්ට ඇසුනොත් හොඳ නැහැ කියල අර waiter කියන වචනය මම කපා හැරියා .)

දැන් මොකද කරන්නෙ මම ඇහුවා.

සර් මම දැන් doctor කෙනෙක් . අසවල් ඉස්පිරිතාලෙ D.M.O.. අනුරාධපුර පැත්තෙ ස්පිරිතාලයක නමක් කිව්ව. මම medical college ගියේ සර්ගෙ වචනෙ නිසා.

ඊට පස්සෙ මේ මහත්තයා යාබද අසුන්වල මිනිස්සු බලා සිටියදීම දෙකට නැමිල මට වැන්දා.

සර් මට වෛද්‍යවරයෙක් වෙන්න බොහොම දෙනෙක් උදව් කළා. මගේ දෙමාපියෝ , ගුරුවරයො , නෑදෑයො, යාලුවො ඒ අතර ඉන්නවා. ඒ වුනාට ඒ හැමෝටමටත් වඩා ඉහළින් ඉන්නෙ සර්ව.

සර් මම වෛද්‍යවරයෙක් වුනේ සර්ගෙ වචනයෙන් මට ලැබිච්ච හයිය නිසා.

මම හෝටලයෙන් අස්වෙලා ඇවිල්ල ආයෙත් A. L. වලට පාඩම් කරද්දි මට නිතරම සර් මතක් වුනා. සර් දීපු ගැම්ම ඒ විදියටම අරගෙන මම නිදි මරාගෙන පාඩම් කළා.

පාඩම් කරද්දි මාව හිරවෙන වෙලාවල් තිබුණා. ඒ වෙලාවට මම සර්ගෙ එදා කතාව මතක් කරගෙන ඒකෙන් ඇඟට හයියක් ගත්තා. මගේ ජීවිතයෙ ආදර්ශ පාඨය කරගත්තෙ සර්ගෙ වචන.

දැන් සර් මොකද කරන්නෙ ?

මම අලුත්කඩේ උසාවියෙ නීතිඥයෙක්.
මම කිව්ව.

එහෙම වෙන්න ඕනනෙ සර්. මටත් නොයෙක් වෙලාවට හිතුන, සර්ව අපව ධෛර්යමත් කළ විදියට සර්රුත් එ් හෝටලේ ඉන්නෙ නැති බව. ඔහු කිවිව.

ඊට පස්සෙ කොළඹ වෙනකන් මම ඔහුත් සමග කතා කර කර ආවා. එදා training එකේ හිටිය හුඟදෙනෙක් ඊට වඩා හොඳ රැකියාවල් කරන බවත් දැනගන්න ලැබුණා.

මට ලොකු සතුටක් දැනුනා. මගේ වචන පෙළක් නිසා අභිප්‍රේරණය ( mortivate ) වී, ජීවිතයේ ඉහළ තලයකට පියඹා ගිය උත්සාහවන්ත දරුවෙක්.

( දැන් මේ කතාවෙ තෙවෙනි කොටසට යමු .)

ගඟ ගලන අතට පිහිණන මිනිස්සු අනුසෝතගාමී අය. ඒ මිනිස්සුන්ගෙ ලොකු අගයක් නැහැ. ඇඟට හයියක් අරගෙන විරුද්ධ අතට පිහිණන මිනිස්සු තමයි ජීවිතයෙ වෙනසක් කරන්නෙ. පටිසෝතගාමී අය.

අර නීතිඥ මහත්තයටත් අර වෛද්‍යවරයටත් ඔහේ නිකන් ගඟ ගලන අතට පිහිණ පිහිණ ඉන්න තිබුණා.

ඇඟට වදින්න සැර වචන වලින් කියපු ආදරණීය උපදේශයක් නිසා වෛද්‍යවරයකු බිහිවුනා.

හිත ඇත්නම් පත කුඩාද කියනවා. අපි වහලුන් විදියට හිතන්නෙ නැතුව , රූකඩ වගේ එකඑකාට ඕන විදියට නැටවෙන්නෙ නැතුව අභියෝගවලට මුහුණ දෙමු.

අපේ දරුවනුත් අප අවට සමාජයත් අභියෝග වලට මුහුණ දෙන්න හුරුකරවමු.

උපුටාගැනීමක්