පිට රටකට යන කෙනෙක්ට මුහුණ දෙන්න වෙන Culture Shock කියන්නේ මොකක්ද ?
අලුතෙන් වෙනත් රටකට පදිංචියට, එහෙමත් නැත්නම් අධ්‍යාපනය සදහා යනව කියන එක ගොඩක් දෙනෙක් දකින සිහිනයක් වගේම ජීවිතයට අලුත් අත්දැකීමක්. නමුත් මෙහෙම වෙනත් රටකට මුලින්ම එන ඔබට මුහුණ දෙන්න සිදුවෙන මානසික පීඩනයක් ගැන කතා කරන්නයි අද සුදානම් වෙන්නේ .
මෙයට Culture Shock එහෙමත් නැත්නම් සංස්කෘතික කම්පනය කියල කියන්නත් පුළුවන්. ඇත්තටම මේක සමහරක් දෙනෙක්ට සුන්දර අත්දැකීමක් වගේම සමහර අයට විදෙස් ගත වෙන්න තමන් කරපු හැම කැපකිරීමක්ම ආපහු හරවන්න උනත් සමත් දෙයක්.
මෙය ඇතිවෙන්න ප්‍රධාන හේතුව වන්නේ ඔබට හුරුපුරුදු වටපිටාවෙන්, නිවසෙන්, තමන්ගේ පව්ලෙන් ඈත් වෙලා ඇවිල්ල ඔබට නුහුරු නුපුරුදු විදේශීය සංස්කෘතියක වටපිටවක ජීවත් වෙන්න සිදුවෙන විටයි.
ඔබට මෙම සංස්කෘතික කම්පනය තුලදී අලුත් රට සදහා ඇතිවෙන ලොකු උනන්දුවක සිට අපේක්ෂා භංගත්වය, මානසික අවපීඩනය සහ නොදන්නා අයට ඇති බිය වැනි හැඟීම් රාශියක් ඔබට අත්විඳිය හැකිය.
Culture Shock ඇති වීම අදියර 4 කට වෙන් කරලා සදහන් කරන්න පුළුවන්
1. The Honeymoon Stage (මධුසමය අදියර )
ඔබ අලුත් රටකට මුලින්ම අවාම ඔබට මුහුණ දෙන්න සිදු වෙන පලවෙන අවදිය වෙන්නේ මෙම අවදියයි. මෙය සිදු වෙන්නේ ඔබ අලුත් රටකට පැමිනිල ගත කරන පළමු සති හතර තුලයි. මෙහෙදී ඔබ ඉතාමත් උද්යෝගයට පත් වෙලයි සිටින්නේ අලුත් රටක්, අලුත් කෑම බීම, අලුත් පරිසරයක් කොටින්ම කියනනවානම් ඔබ මෙහෙදී සිතන්නේ ඔබ ජීවිතය අලුතෙන්ම පටන් ගත්තා කියලයි. මෙම කාලය තුල ඔබ ගොඩක් දුරට අලුත් කෑම බීම රස බලමින් රටේ සිරි නරබමින් ගත කරනු ඇති.
2. The Frustration Stage (කලකිරීම් අදියර)
Culture Shock අදියර 4 තුල ඔබට මුහුණ දෙන්න සිදුවෙන අපහසුම කාලය වන්නේ මෙයයි. සාමාන්‍යයෙන් මාස 6 පමණ කාලයක් තියෙන්න පුළුවන් මෙහිදී වෙන්නේ ඔබට දැනෙනවා ඔබ විදෙස් ගත වෙන්න ගත්ත තීරණය වැරදි බව. මෙයට හේතු වන්නේ ඔබට ඔබගේ පව්ලේ සාමාජිකයන් මතක් වෙනවා, ඔබේ රැකියාව ඔබ කලින් ගත කරපු ජීවිතය මතක් වෙනවා.
ඔබ අලුත් රටට පැමිණියේ ඔබගේ පවුලේ සාමාජිකයන් සමගනම් ඔබට තරමක් දුරට මෙමෙ පීඩනය දරා ගන්න පහසු වෙනව. එමෙන්ම අලුතෙන් රටකට එන කෙනෙක්ට මුහුණ දෙන්න වෙන දෙයක් තමයි භාෂාමය ගැටළු වගේම නව රැකියාවක් සොයා ගැනීම, අලුත් පිරිසක් සමග වැඩ කරන්න සිදු වීම වගේ කරනා. ඉතින් මේ වගේ දේවල් නිසා ඔබ බොහෝ වෙලාවට තීරණය කරන්න පුළුවන් ලංකාවට යන්න එහෙමත් නැත්නම් කලින් හිටපු රටට යන්න.
ඔබට මේ අවදියට මුහුණ දෙන්න කරන්න පුළුවන් දේවල් කීපයක් තියනව ඔබට පුළුවන් ඔබ ජීවත් වෙන රටෙහි සිටින ශ්‍රි ලාංකික ප්‍රජාව සමග සම්බන්දකම් ඇති කර ගන්න, එහෙමත් නැත්නම් පන්සලක් වැනි ආගමික ස්ථානයකට යන්න. ඇත්තටම මෙම අදියර ඉතාමත් ඉවසීමෙන් ගත කරන්න ඕනි අදියරක් .
3. The Adjustment Stage (අනුගත වීමේ අදියර )
කලකිරීමේ අදියර පසු කරපු ඔබට මීලගට මුහුණ දෙන්න සිදු වෙන අදියර තමයි අලුත් සංස්‌කෘතියට අනුගත වීම. මෙම අවස්ථාවේදී ඔබ පෙර විදින්න ලැබුණු මානසික පීඩන තත්වයෙන් බොහෝ දුරට නිදහස් වෙලයි සිටින්නේ . ඔබට පෙරට වඩා අලුත් රට ගැන අවබෝදයක් වගේම භාෂාමය ගැටළුත් බොහෝ දුරට මග හැරිලා තිබේවි.
මේ වන විට ඔබට නව මිතුරන් වාගේම අලුත් රටට අදාල ආහාර රටාවටත් බොහෝ දුරට හැඩ ගැසී තිබේවි.
4. The Acceptance Stage (පිළිගැනීමේ අදියර)
මෙය තමයි Culture Shock එකේ ඔබට අත් දකින්න ලැබෙන අවසාන අදියර. සාමාන්යෙන් අලුත් රටකට ඇවිල්ල බොහෝ විට වසරකට පමණ පසුව ඔබට මෙම අත්දැකීමට මුහුණ දෙන්න හැකියාව ලැබේවි. මෙම අදියර වන විට ඔබ සම්පුර්ණයෙන්ම අලුත් සංස්කෘතික වට පිටවට හැඩ ගැසී අවසන්. තව දුරටත් ඔබට අලුත් රට ගැන නුපුරුදු හැගීමක් දැනේනේ නෑ. මේ වෙන විට ඔබ ඔබගේ සුපුරුදු ජීවන රටාවට අවතීරණය වෙලා අවසන්.
මේ ලිපිය කියවන ඔබත් මේ අත්දැකීමට මුහුණ දුන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔබටත් එවැනි අත්දැකීම් තිබෙනවනම් පහලින් comment එකක් දාල ඔබගේ අත්දැකීම් අපත් එක්ක බෙදා ගන්න.