?මේ කේක් අයිසින් කලාව ගැන කෙටි පැහැදිලි කිරීමකි?

පාට පාට දාල දැක්කම ආස හිතෙන විදියට කේක් එකක් සරසගන්න අපි කවුරුත් කැමතියි.

හැබැයි නියම විදියට අයිසින් වර්ග හදාගන්න දන්නෙ ටික දෙනෙක් විතරයි.

බටර් අයිසින්,බටර් ක්‍රීම් ෆොන්ඩන්ට් අයිසින්, රෝයල් අයිසින්,මාශ්මෙලෝස් ෆොන්ඩන්ට් ඒ අතරින් ප්‍රධානයි..

9 වෙනි පාඩමෙන් අපි බටර් ක්‍රීම් සහ බටර් අයිසිං පිලිබඳ කතා කලා.අද කෑම පිටුව කේක් පාඩම තුලින් ඔබ වෙත ගෙන එන්නේ නිවැරැදිව අයිසින් වට්ටෝරු ,අයිසින් සැකසීම පිලිබඳව සහ අයිසින් කිරීමට යොදා ගැනෙන නොසල් වර්ග පිලිබඳව ඔබට නිවැරැදි මගපෙන්වීමක් ලබා දීමටයි.

අයිසින් වර්ග විදියට ගත්තොත් ගණනාවක්ම තියෙනව.

අපි අද මේ කියන්නෙ නිතරම ඕන වෙන ප්‍රධානම අයිසින් වර්ග ටික ගැන.

1. පාච්මන්ට් අයිසින්
කේක් මත කුඩා අලංකාර මල්,කොළ ,ආකෘති කරන්න හදාගන්න පුංචි පුංචි මල් හදාගන්න තමා මේ අයිසින් එක පාවිච්චි වෙන්නෙ. කලින් වේලාසන මල් ටිකක් හදල වේලගෙන පසුව කේක් ඩෙකෝ වලට පාවිච්චි කරන්නත් පුළුවන් වීම වාසියක්.

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර සුදු මද 2
අයිසින් ෂුගර් 350g
(වෙනම ග්‍රෑම් 100කුත් තියාගන්න.)
තයිලෝ පව්ඩර් 30g
බටර් 10g
වැනිලා 5ml

සාදන ක්‍රමය

අයිසින් ෂුගර් වලින් කොටසක් බෝල් එහෙකට දමා මැද වලක් සාදාගෙන බිත්තර සුදු මද සහ වැනිලා එක් කරගන්න. කැට නොහිටින ලෙස හොඳින් අනාගන්න.තයිලෝ පව්ඩර් එක් කර විනාඩියක් දෙකක් හොඳින් අනාගන්න.ඇලෙන සුළු ගතිය නැති වී පහසුවෙන් හසුරුවා ගත හැකි ඩෝ එකක් හැදෙන තුරු අයිසින් ෂුගර් එක් කරගන්න.දැන් බටර් එක් කර නැවත අනාගන්න. නැවත අයිසින් ෂුගර් එක් කර අනන්න. හුළං නොවදින ලෙස හොඳින් වසා තබා භාවිතා කරන්න.

2.. ෆොන්ඩන්ට් අයිසින්
කේක් කවර් කරන්න වගේම පොඩි පොඩි රූප,බෝඩර්ස් හදාගන්නත් ඕන වෙන්නෙ ෆොන්ඩන්ට් අයිසින්. ලස්සන ලස්සන මෝස්තර වලට කේක් හදන්න නම් අනිවාර්යෙන් මේ අයිසින් එක ඕනෙමයි. ලික්විඩ් ග්ලූකෝස්, ග්ලිසරින් වගේ දේවල් ඕනෙම සුපිරි වෙළඳ සැලකින් ලබාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

අයිසින් ෂුගර් 500g
ග්ලිසරින් 10g
ලික්විඩ් ග්ලූකෝස් 30g
ජෙලටින් 10g
බටර් 15g
වැනිලා 5ml
අයිස් වතුර 12ml

සාදන ක්‍රමය

ජෙලටින් වලට වතුර එක් කර විනාඩි කීපයක් තබා එය ඩබල් බොයිල් කර ජෙලටින් ටික දියකරගන්න. එයට ලික්විඩ් ග්ලූකෝස් සහ ග්ලිසරින් එක් කර හොඳින් මිශ්‍ර කරගෙන එයටම බටර් දමා බටර් දියවෙන්නට පෙර ලිපෙන් ඉවත් කරගන්න.ඉවත් කරගෙන වැනිලා එක් කර යන්තම් රස්නය හිටින පමණට නිවෙන්නට හරින්න. වෙනම බඳුනකට අයිසින් ෂුගර් දමා එයට ජෙලටින් මිශ්‍රණය එක් කර අතේ නොඇලෙන සොෆ්ට් බෝලයක් වන තුරු හොඳින් අනාගන්න.

‍3.රෝයල් අයිසින්

ඔන්න තවත් අයිසින් කරන විදිහක් තමයි ‍රෝයල් අයිසින් කියන්නේ. ‍මේ ‍ ‍රෝයල් අයිසින් භාවිතා කරන්නේ ‍මෝස්තර සදහා.

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර සුදුමද 1
අයිසින් සීනි 300g – 400g
දෙහි යුශ 10ml

සාදන ක්‍රමය

තුන්වරක් අයිසින් සීනි හලාගන්න.දැන් සුදුමදය බීට් කර ඉන්පසු අයිසින් සීනි ද දෙහි යුශ ද එක් කර ක්‍රම ක්‍රමයෙන් අවශ්‍ය පදම තෙක් නොනවත්වාම බීට් කර ගන්න

4.මාශ්මෙලෝස් ෆොන්ඩන්ට්

කේක් කවර් කරන්න වගේම පොඩි පොඩි රූප,හදාගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

ජලය 45ml
දිය කරගත් බටර් 45g
ග්ලුකෝස් සිරප් 45g
අයිසින් සීනි 900g
මාශ්මෙලෝස් 450g

සාදන ක්‍රමය

ජලය ,බටර්,ග්ලුකොස් සිරප්,මාශ්මෙලෝස් සමග භාජනයකට දමා ඩබල් බොයිල් කර ගන්න. මාශ්මෙලෝස් මිශ්‍රණය යන්තම් රස්නය තිබියදීම අයිසින් සීනි මතට දමා, ලී හැන්දකින් ගුලියක් බවට පත්වනතුරු සහ රස්නය නිමෙන තුරු හොඳින් කලවම් කරන්න.අයිසින් සීනි ඇතිරූ මතුපිටක මෙම ගුලිය ස්වල්ප වේලාවක් හොදින් අනන්න.අවශ්‍ය විටක තුනී කර ප්‍රයෝජනයට ගන්න.තෙත ගතිය වැඩිනම් අයිසින් සීනිද, වේලුනු ගතියක් ඇතිනම් වතුර තේ හැන්ද බැගින්ද දමමින්, හොදින් අනන්න.මෙය අවශ්‍ය දිනට කලින් දිනයේ සාදා පාවිච්චියට ගන්න.සුලං නොවදින ලෙස පොලිතීන් කැබැල්ලකින් හොඳින් වසා තබා පාවිච්චි කරන්න.
ශීතකරනයේ දමා තබා මාසක පමණ කාලයක් පාවිච්චි කල හැකිය.

විවිධ අයිසින් නොසල් පිලිබඳ සටහනක් පහතින් දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔබට කිසියම් අදහස් ලබා ගත හැකි වනු ඇත

දස වැන්නෙන් හමුවෙමු

කේක් නිශ්පාදනය පිළිබඳව මුල සිට සරලව කොටස් 24 කින් සුසැදි මෙම අංගසම්පූර්ණ කේක් පාඩම් මාලාව කේක් නිශ්පාදනය පිලිබඳව උනන්දුවක් දක්වන ලාංකික ඔබ හිත මිතුරන් සැම දෙනා අතරේ බෙදා හදා ගැනීමට කාරුණික වන්න.