සුපිරියටම ගෙදරදීම කේක් හදන්න පාඩම් අංක 6️⃣
?පිටි – මාජරින් ක්‍රමය මගින් රසවත් කප් කේක් සාදා ගනිමු.
කේක් සාදමු යටතේ අපි අද විමසා බලමු කේක් සාදන දෙවන ක්‍රමය ගැන. මේ ක්‍රමය යටතේ සාමාන්‍ය කේක් වර්ග එනම් බටර්,චොකලට්,රිබන්,මාබල්,කප් කේක් යනාදිය සාදා ගත හැක.?
පිටි – මාජරින් ක්‍රමය
අද අපි බලමු පිටි – මාජරින් ක්‍රමය යටතේ කප් කේක් සාදන ක්‍රමය.
මුලින්ම කල යුතු වන්නේ කප් කේක් සදහා කප් කේක් කටු සහ කප් කේක් ගොටු සොයා ගැනීම.කප් කේක් කටු යනුවෙන් සදහන් කලේ ලංකාවේ බේකරි වහරේ ස්පන්චි නිපදවීමට යොදා ගැනෙන සිවුම් ඇලුමිනියම් හෝ යකඩින් නිර්මාණය කර ඇති කුඩා අච්චු වලටයි.කප් කේක් ගොටු යනුවෙන් අදහස් වන්නේ එම කටු තුලට දැමිය හැකි සුදු හෝ වර්ණ කඩදාසියෙන් නිමවු දවටන වලටයි.මෙම කටු සහ ගොටු ඔබ ප්‍රදේශයේ කේක් අමුද්‍රව්‍ය අලෙවි කරන අමුද්‍රව්‍ය වෙලදසැල්වලින්,ලිපි ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල්වලින් පහසුවෙන් මිලදී ගත හැක.මේ පිලිබඳ වැටහීමක් ලබා ගැනීමට අවශ්‍ය රූප සටහන් පහතින් දක්වා ඇත.
කප් කේක් සදහා අවශ්‍ය ද්‍රව්‍ය (කප් කේක් ප්‍රමාණය 15- 20)
මාජරින් 250g
සුදු සීනි 250g
කේක් පිටි 250g
බිත්තර 200g
වැනිලා 10ml
දියර කිරි 20ml
බේකිo පවුඩර් 10g
සාදන ක්‍රමය

මුලින්ම කේක් එක බේක් කිරීමට යොදා ගැනෙන උදුන 170c – 180c ට රත් කර ගන්න.දෙවනුව කප් කේක් කටු තුලට කප් කේක් ගොටු දමා ගන්න.එක් කටුවක් තුලට එක් ගොටුවක් බැගින්. ඉන්පසු කේක් පිටි සහ බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කර තෙවරක් පමණ පෙනේරයක් ආධාරයෙන් හොදින් හලා ගන්න.

1.සියලුම අමුද්‍රව්‍ය නිවැරැදි පරිදි කිරා මැන ගන්න.

2.මාජරින් මෘදු කර ගන්න.මෙහිදී ඔබට ලී පත්තක් හෝ ගෘහස්ථව කේක් බීට් කිරීම සදහා යොදා ගැනෙන මිශ්‍රණ යන්ත්‍රයක් භාවිතා කල හැක.මෙහිදී මාජරින් ක්‍රීම් කල විට තරමක ලා පැහැයක් ගනී.එක් අතකට පමණක් මෙය සිදු කල යුතුය.තද ගතිය ඉවත් වී මාජරින් මෘදු ක්‍රීම් එකක් බවට පත් වන තෙක්ම මෙය කල යුතුය.

3.ක්‍රීම් කර ගත් මාජරින් වලට මුලින්ම සීනි ද දෙවනුව පිටි ද ස්වල්පය බැගින් එකතු කර මිශ්‍ර කර ගත යුතුය.සීනි සියල්ල දිය වන තුරු එක් අතකට පමණක් මිශ්‍ර කල ගත යුතුය.

4.සීනි සහ පිටි සියල්ල මාජරින් සමඟ එක් වන තුරු මිශ්‍ර කර ගන්න.සියලුම සීනි දිය වී ඇති බව සැක හැර දැන ගන්න.

5.දැන් වෙනම භාජනයක් ගෙන බිත්තර හොදින් බීට් කර ගන්න.

6.දැන් බිත්තර ස්වල්පය බැගින් පිටි මිශ්‍රණයට එක් කර බීට් කරමින් සියල්ල එක් කර ගන්න. සියලු මිශ්‍ර කිරීම් එකම අතකට විය යුතුය.මිශ්‍රණ යන්ත්‍රය මගින් මධ්‍යම වේගයෙන් මිශ්‍ර කර ගත යුතුය.

7.දැන් මිශ්‍රණයට වැනිලා,කිරි එක් කර හොඳින් ඉතා ස්වල්ප වේලාවක් මිශ්‍ර කර ගන්න.

8.බේක් කිරීමට පෙර අවසානයේදී සියල්ල හොඳින් මිශ්‍ර වී ඇති බව හොදින් පරීක්ෂා කර ගන්න.
9.දැන් කේක් මිශ්‍රණය කප් කේක් කටු තුලට දැමූ කප් කේක් ගොටු වලින් ගොටුවෙන් භාගයක් සිටින සේ දමා ගන්න.
10.දැන් මිශ්‍රණය පිරවූ කප් කේක් සියල්ල රත් වූ උදුන තුලට දමා විනාඩි 25-30 ක කාලයක් හොදින් බේක් කර ගන්න.
11.පිරිසිදු ඉරටු කෑල්ලක් හෝ පිරිසිදු ටූත් පික් එකකින් කප් කේක් එක මතට ඇන බලන්න. ඉරටු කැල්ල වියලිව ඇත්නම් කප් කේක් එක හොදින් බේක් වී ඇත.එසේ නැතිනම් තව ටික වේලවක් තබන්න.සෑම උදුනනකම ක්‍රියාකාරිත්වය එකින් එක වෙනස් නිසා නිවැරැදිව කේක් බේක් කිරීම අත්දැකීම මත පලපුරුද්ද මත තීරණය වන බව සලකා කටයුතු කිරීම වැදගත්. කප් කේක් හොදින් බේක් වූ පසු උදුනෙන් ඉවතට ගන්න.
කේක් නිශ්පාදනය පිළිබඳව මුල සිට සරලව කොටස් 24 කින් සුසැදි මෙම අංගසම්පූර්ණ කේක් පාඩම් මාලාව කේක් නිශ්පාදනය පිලිබඳව උනන්දුවක් දක්වන ලාංකික ඔබ හිත මිතුරන් සැම දෙනා අතරේ බෙදා හදා ගැනීමට කාරුණික වන්න