පාසැල් කාලයේ යාලු මිත්‍රයන් යුවලක් කාලයකට පසු අහම්බෙන් මුණගැසුනි.

කතාබහ අරඹා සුළු මොහොතකින්ම අනෙක් හැම අලුත් දෙමාපියන් යුවලක් වාගේම ඔවුන්ද කතා කිරීමට පටන් ගත්තේ තම දරුවන් ගැනයි.

පළමු දරුවාට අවුරුදු තුනයිලු. දෙවන දරුවාට මාස ගාණක්ලු. සතියේ දවස් හතට අමතරව තව දවසක් තිබ්බා නම් හොඳයි කියා හිතෙනවාලු. ජීවිතේ හරිම කාර්යබහුලයිලු. අපිට අපි ගැන බලන්න වෙලාවක් නැහැලු.

මෑතකදී දෙමාපියන් බවට පත් වුන මගේ මිතුරු මිතුරියන් සමඟ කතා බහ කරන විට, තමන්ගේ කුඩා දරුවන් රැකබලා ගැනීමට වීම නිසා ඔවුන්ගේ ජීවිත කෙතරම් දුෂ්කර වෙලාද කියාත් නිවසට ගිය විට කරන්නට ඇති වැඩ කන්දරාව ගැන විස්තරාත්මකව විග්‍රහ කිරීමටත් ඔවුන් මහත් කැමැත්තක් දක්වන බව දැක ඇත්තෙමි.

මා සමඟ පමණක් නොව, එකිනෙකා සමඟ සාමාන්‍යය සතුටු සාමිචියේ යෙදීමේදීද මේ “දරු කට්ට” ගැන ඔවුන් කතාබහ කරනු මම අසා ඇත්තෙමි.

ඔවුන් ඒ කතා කියන්නේ හරියට, කවුරුන් හෝ මහ රාත්‍රියක ඔවුන්ගේ නිවසට පැමිණ, තුවක්කුවක් පෙන්වා තර්ජනය කොට, දරුවෙක් බලෙන් ඔවුන්ගේ අතේ තබා ගිහින්, දැන් ඒ දරුවා ගැන ඔවුන් හරියට කටයුතු කරනවාදැයි හොරෙන් හොරෙන් ඔත්තු බලනවා වාගේය කියා විටෙක මට සිතේ. කතාව හරියට දරුවා බිහිකිරීමේ නොකිරීමේ කාර්‍යේදී ඔවුන්ට කිසිම තේරීමක් තිබුනේ නැත්තා සේය.

මේ කතාබහ අස්සේ මා දකිනා අමුතුම දේ නම්, ඔවුන් මේ කතා කියන්නේ හරිම උනන්දුවෙන් වීමය. හරිම ආඩම්බරෙන් වීමය. හරියට ඔවුන් තමන් පිට තමන්ම පටවාගත් මේ ප්‍රශ්න කන්ද ගැන සතුටු වනවා වාගේය. සමහර විට ඔවුන්, ඔවුන්ගේ ජීවිතයේ අනෙක් සෑම අංශයක්ම ගැන මවාපානවා මෙන්, ඒ සතුටද මවාපානවා විය හැක. නැත්නම් තමා ඒ බර දැරීම ගැන සතුටු වනවාය කියා ඔවුන් ඔවුන්වම රවටා ගනිමින්, අනෙක් අයවද රවටනවා විය හැක. එක්කෝ, දරුවන් උස් මහත් කිරීමේ මේ මහා අපහසු කරත්ව්‍යයට අත ගසා සිටින බව අනෙක් අයට කීමෙන්, ඔවුන් වඩා වගකිවයුතු පුද්ගලයන් බවට පත් වී ඇති බව අන් අයට හඟවා තෘප්තියක් ලබනවා වන්නටත් බැරි නැත.

එවැනි කතාබහ අතරතුරේදී, “තමා ගැන බලාකියා ගත නොහැකි දරුවෙක් මෙලොවට ගේන්න තීරණය කල වේලේ ඔබලා බලාපොරොත්තු වුනේ මොකක්ද එහෙනම්? මීට වඩා වෙනස් තත්වයක්ද? ” වැනි ප්‍රශ්න ඇසිය නොහැක. ඒ වෙනුවට ඔබට කිරීමට සිදුවන්නේ මෝඩයෙකු සේ සිනාසිසී ඔවුන්ගේ කතා වලට ඔලුව වනමින් පහත ආකාරයේ ප්‍රතිචාර දැක්වීමය.

“හා ඇත්තම ද?”

“හානේ…”

“ඇත්තටම?”

“ඉහි..හිහි..හිහි”

මිනිසුන් තම ජීවිතය කෙතරම් දුෂ්කරද කියා අන් අයට පැවසීමෙන්
මහත් සතුටක් ලබයි. ඔවුන් ඒ සියලු දුෂ්කරතා කරදර කාගෙන තමන් පරිපූර්ණ ආදරණීය පවුල් ජීවිතයක් ගෙවනා අයුරු අන් අයට දැන්වීමට මහත් ප්‍රියතාවයක් දක්වයි.

නමුත් එතරම් පට්ටපල් කෙබරයක් තවත් නැත!

ඔවුන් කියනා ඒ ආදරණීය සදාදරණිය සතුටුදායක පවුල් ජීවිත ගැන කතා පට්ටපල් බොරු බව ඒ කතා කියන ඔවුනුත් දනියි. ඒ කතා අහන් ඉන්න අපත් දනියි. ඒ කතා අහන් ඉන්නා අප ඒ කතා බොරු බව දන්නා බව ඒ කතා කියන ඔවුනුත් දනියි.

කාරණා එසේ වුවත් බාගයක් දෙනා මුග්ධ නරුමයන් සේ බොරු කියති. අනෙක් බාගය මුග්ධ නරුමයන් සේ විරිත්තමින් ඒ බොරු අසා සිටිති.

ජීවත් වීම යනු එයලු. තමන් අම්බානට සතුටින් ඉන්න බව අනෙක් අයට පෙන්වීමට අම්බානට දුක්විඳීමලු.

අපි එකිනෙකා අප කොතරම් සතුටින් ඉන්නවාද කියා එකිනෙකාට ප්‍රදර්ශනය කරන්නට කොච්චර දතකනවාද කියනවා නම්, අපේ සතුටු දායක බවේ ඒ ව්‍යාජ මායාවම අපේ ජීවිත වල ලොකුම ඛේදය බවට පත් වී තිබේ.

***

ජීවිතය දඬුවමකි. ජීවිතය අරගලයකි. කොහොමත් කට්ටක් වූ ජීවිතයට විහින් තවත් බර පටවා ගැනීමේ වගකීම ඔබ සතුය. මෙහිදී තව කාරණයක් කිව යුතුය. මෙපමණ දඬුවමක් වූ ජීවිතය තවත් කෙනෙක් මත පැටවීම නම් මමත්වයෙන් පිරි ආත්මාර්ථකාමී ක්‍රියාව ඔබ කරන්නේ නම්, එය ඒ බිහිවන කෙනාට දිය හැකි ලොකුම දඬුවම බව දැනගෙන ඒ දේ කරන්න.

මේ ගැන ලියාගෙන යන විට තවත් අත්දැකීමක් සිහිවේ.

පවුලේ මිතුරියකට දරුවෙක් ඉපදුන වෙලාවේ දරුවා බලන්නට යන්න සිදුවුනි. එදා අප එහි ගිය වෙලේ, ඇයව බැලීමට ඇගේ තව මිතුරියක් පැමිණ සිටියාය. ඇය දරුවා සුරතල් කල ආකාරය ඒ අයුරින්ම මගේ මතකයේ තවම සටහන්ව ඇත.

“අනේ පුතේ.. තලහද මා එක්ක පුතාව බලන්න එන්න පරක්කු වුනාට… වැඩනෙ පුතේ.. උදේ ඉඳන් වැඩ පුතේ.. හවස් වෙනකල්ම වැඩ.. කරුමයක් පුතේ ජීවිතේ.. පුතා ඉක්මනට ලොකු වෙන්න එපා පුතේ… ඔහොමම ඉන්න පුතේ.. ඔහොමම ඉන්න…”

මේවා ගැන කුමක් කියන්නටද කියා මම නොදනිමි.

මම මගේ නූපන් දරුවාට, කිසිදා නොඉපදෙන දරුවාට මහත් සේ ආදරය කරමි. ඔහුව මෙලොවට ගෙන නො එන්නට තරම් මම ඔහුට ආදරය කරමි.

ඒ වගේම දැනටමත් ඉපදුන අහිංසක බිළිඳන්ට අනුකම්පා කරමි. ඔවුන් මත එළඹෙන්නට නියමිත ඒ සතුට සොයා යාමේ අරගලයත්, දුක මඟහරවා ගැනීමේ සටනත් සිහිවන විට ඔවුන් ගැන අවංකවම කණගාටු වෙමි. ඔවුන්ගේ මුග්ධ දෙමව්පියන් ඔවුන්ව මෙලොවට බිහි කිරීමට ගත් ඒ ආත්මාර්ථකාමී තීරණයට සිතින් ද්වේෂ කරමි.

තමන්ගේ දරුවන් මත එළඹෙන්නට නියමිත ඕනෑම දුකකින් ඔවුන්ව ආරක්ෂා කිරීම තම එකම සහ ලොකුම අභිප්‍රාය බව ඕනෑම දෙමාපියෙකු කියයි. එහෙත්, තම දරුවා කිසිම දුකකට පත් නොවන බවටද කිසිම වදවේදනාවකට පත් නොවන බවටද සහතික වීමට කල හැකි එකම සහ ලොකුම දේ ඒ දරුවාව බිහි කිරීමෙන් වැළකීම බව මේ ආත්මාර්ථකාමීන් එකෙක්ටවත් නොතේරෙන හැටි !

ජිවිතය නම් මහා ඇබ්බැහිය.. අවසන් අරමුණක් රහිතව අන්ධකාරයට අතුරුදන් වන දවසක් එනතුරු ඔහේ ගෙවනවාට ගෙවා දුක මඟහරවාගැනීමේ සටනක නියැලෙමින්, සතුට සොයා යාමේ තරඟයක යෙදෙමින් ගත කල යුතු අරගලයක් වන මේ ජීවිතය.. තවත් කෙනෙකු මත පටවන්නේ කුමනාකාරයේ ආත්මාර්ථකාමීත්වයක් නිසාද, කුමනාකාරයේ මමත්වයක් නිසාද, කුමනාකාරයේ හිස්කමක් පුරවා ගැනීමටද කියා මට නම් වැටහෙන්නේ නැත.

උපුටගනීමක්