අප ජීවත්වන මේ නව ලෝකයේ ඔබේ හෝ මගේ අගය මනිනු ලබන්නේ අප කෙතරම් වෙහෙස වී වැඩ කරන්නේද යන්න මඟින් නොවේ. අප අවට ඇති ලෝකයට අප කොපමණ අගයක් එකතු කරන්නේද යන්න අනුවය. ඒ ගැන සිතන්න. ඔබට මේ වන විට පැයකට ඩොලර් විස්සක ගෙවීමක් ලැබෙයි නම් ඒ මුදල් ඔබට ගෙවනු ඇත්තේ ඔබ නිකරුණේ ඒ විනාඩි හැටක කාලය ඔබේ පුටුවේ වාඩි වී සිටින නිසා නොවේ. ඒ වෙනුවට ඒ විනාඩි හැටක කාලයේදී ඔබ ඩොලර් විස්සක වටිනාකමක් එකතු කර ඇති හෙයිනි. ඒ නිසා ඔබට මූල්‍ය ප්‍රතිලාභ ලැබෙන්නේ කෙතරම් දිගු වේලාවක් ඔබ වැඩ කළේද යන්න නිසා නොව කෙතරම් වටිනාකමක් එකතු කර තිබේද යන්න අනුවය.

මැක්ඩොනල්ඩ් ආපන ශාලාවේ සේවකයකුට වඩා මොළය පිළිබඳ විශේෂ වෛද්‍යවරයකුට වැඩිපුර බොහෝ මුදලක් ගෙවනු ලබන්නේ ඒ හෙයිනි. පුද්ගලයකු වශයෙන් සලකන විට මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වඩා හොඳ පුද්ගලයෙක්ද? එසේ නොවීමටද ඉඩ ඇත. ඔහු වඩාත් වෙහෙසී කටයුතු කරන අයෙක්ද? ඇතැම් විට එසේ ‍නොවන්නටද පුළුවන. ඔහු වඩා දක්ෂයෙක්ද? එය ද නිශ්චිතව කිය නොහැකිය. එහෙත්, එක් දෙයක් නිශ්චිතව කීමට හැකියාව තිබේ. එනම් මැක්ඩොනල්ඩ් අවන්හලේ සේවකයාට වඩා මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වඩා සංකීර්ණ දැනුමක් සහ විශේෂිත ප්‍රාගුණ්‍යයක් ලබාගෙන ඇති බවය. මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා කරන දෙය එසේම කළ හැකිඅය ඇත්තේ ස්වල්ප දෙනෙකි. ඒ නිසා සමාජ වෙළෙඳ පොළේදී ඔහුගේ වටිනාකම වැඩියයි තක්සේරු කෙරෙයි. කෑම පිළිගන්වන පුද්ගලයාට වඩා දස ගුණයක වැඩි වැටුපක් ඔහුට ගෙවන්නේ මේ හේතුව නිසාය. ඒ අනුව ඔවුනොවුන් උපයන මුදල යනු එක් එක් පුද්ගලයා සමස්තයක් වශයෙන් මේ ලෝකයට එක් කර ඇති වටිනාකම කෙතරම්ද යන්න දක්වන සංකේතයක් පමණි.

එහෙයින් ඔබට වැඩි වැටුපක් අවශ්‍ය නම් ඔබ මේ ලෝකයට වැඩි වටිනාකමක් එකතු කළ යුතුය. ඉතින් ලෝකයට වැඩි වටිනාකමක් එකතු කළ හැකි හොඳම මඟ නම් ඔබ වඩාත් වටිනාකමක් සහිත පුද්ගලයකු බවට පත් වීමය. වෙනත් කිසිවෙකුට නොමැති කුසලතාවක් වර්ධනය කර ගන්න. වෙනත් කිසිවකු නොකියවන පත පොත කියවන්න. වෙනත් කිසිවකු නොසිතන සිතිවිලි සිතන්න. වෙනත් ආකාරයකට කියන්නේ නම් ඔබ අද සිටින මට්ටමේම සිටින්නේ නම් ඔබට අවශ්‍යව ඇති සියල්ල ඔබට ලබා ගත නොහැකිය. ජීවිතයෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වන්නේ නම් ඔබද ජීවිතයට මෙයට වඩා දෙයක් දිය යුතුය.